Select Page
ඒ.එම්. බුද්ධදාස මැතිතුමා

ඒ.එම්. බුද්ධදාස මැතිතුමා

පළාත් සභා ගරු සභාපති

ධුර කාලය – 2014.10.09 සිට මේ දක්වා
දුරකථන අංකය –    055-2225023
ලිපිනය – සභාපති කාර්යාලය, ඌව පළාත් සභාව, බදුල්ල

1944.03.15 වන දින ඌව පරණගම ප්‍රදේශයේ උපත ලබා 1962 වර්ෂයේදී ඌව පරණගම සපුගොල්ල කිරවනාගම ගම් සභාව නියෝජනය කර පන්නලවෙල කොට්ඨාසය ජයග්‍රහණය කරමින් දේශපාලන ජිවිතය ආරම්භ කරන ලදී. 1962 සිට 1967 දක්වා ඌව පරණගම ගම් සභා සභික ලෙස කටයුතු කළ අතර, 1968 සිට 1971 දක්වා ඌව පරණගම ගම් සභා විපක්ෂනායක ලෙස කටයුතු කරන ලදී.

1993.05.28 වන දින මන්ත්‍රීවරයෙකු වශයෙන් ඌව පළාත් සභාවේ දෙවන පළාත් සභාවට තේරී පත්ව, පළාත් සභා දේශපාලනයේ ආරම්භක කඩඉම සනිටුහන් කිරීමට සමත් විය. 1999.04.23 වන දින ඌව පළාත් සභාවේ නිවාස හා ඉදිකිරීම්, ග්‍රාම සංවර්ධන, ප්‍රවාහන, කර්මාන්ත, විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරයෙන් පිදුම් ලද එතුමා පළාතේ ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටු කිරීමට සමත් විය. 2001 වර්ෂයේදී තෙවන පළාත් සභාවේ ගරු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තේරී පත් වෙමින් ඌව පළාතට විශිෂ්ට සේවාවක් සැලසීමේ ගෞරවයට පාත්‍ර විය. 2004 වර්ෂයේදී හතරවන පළාත් සභාවේ මාර්ග, විදුලිබල, සමුපකාර බලශක්ති අමාත්‍ය ධුරයද, 2009 වර්ෂයේ දී පස්වන පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය පරිවාස හා ළමා රක්ෂක, වනිතා කටයුතු හා සමාජ සුභ සාධන අමාත්‍ය ධුරයද, 2014 වර්ෂයේදී හයවන පළාත් සභාවේ සභාපති වශයෙන් පත්ව විශාල කැපකිරීමක් හා සේවාවක් ඉටු කර අැත. තම පක්ෂයේ නායකයින් සමඟ ඉතා සුහදශීලීව කටයුතු කිරීම හා නායකත්වයට ගරු කිරීම තුළින් පරිණත දේශපාලනඥයකු සතු ගුණාංග විදහා දැක්වීමට සමත් වී ඇත.

ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට පළාත් සභා අරමුදලින් 60% ක් සහ විදුලි පාරිභෝගිකයින්ගේ 40% ක් යොදා විදුලිය ලබා ගැනීමට විදුලි යෝජනා ක්‍රමයක් ඌව පළාත් සභාවේ තුන්වන පළාත් සභා කාලය තුළදී විදුලි බල හා බලශක්ති ගරු අමාත්‍යවරයා වශයෙන් ග්‍රාමීය ජනතාවට විදුලිය බලය ලබා දීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගන්නා ලදී.

ඌව සභාව තුළ ප්‍රවාහන අධිකාරියක් පිහිටු වීම හා ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ කාලසටහනකට අනුව පෞද්ගලික බස් ධාවනයේ යෙදවීම මගින් ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථාවන් රැසක් ලබා දීම හා සෞඛ්‍ය අමාත්‍යාංශයට ජංගම සායන බස් රථයක් හා දන්ත සායන බස් රථයක් ලබා දීම, තවද ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාලයක සිට සේවය කළ දෙමළ මාධ්‍ය පවුල් සේවිකාවන් පළාත් රාජ්‍ය සේවයට බඳවා ගැනීම, ආයුර්වේද  දෙපාර්තමේන්තුව සඳහා මිරිස්වත්ත ඖෂධාගාරය ඇති කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කිරීම, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට විශාල අඩුපාඩුවක්ව පැවති ගිලන් රථ ලබා දීම හා රියදුරන් බඳවා ගැනීම සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන කාලය තුළදී සිදු කරන ලදී.

ඌව පළාතේ හයවන පළාත් සභාවේ ගරු සභාපති වශයෙන් පත් වීමෙන් අනතුරුව ගරු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා පහසුකම් ලබා දීමට මුලිකත්වය ගෙන කටයුතු කිරීම හා ප්‍රථම වතාවට පළාත් සභා සභාපතිවරුන්ගේ සංසදය පිහිටුවීමට ක්‍රියාකාරි දායකත්වයක් ලබා දීම හා එහි මුලිකත්වය ගෙන කටයුතු කිරීම මෙම කාලය සීමාවේ ඉටු කරන ලදී.  ව්‍යාපාරිකයෙකු වශයෙන් ආරම්භ කළ තම ජිවිතය පළාත් සභාව තුළ ගරු මන්ත්‍රීවරයෙක්, ගරු අමාත්‍යවරයෙකු, ගරු ප්‍රධාන අමාත්‍යවරයෙකු හා ගරු පළාත් සභා සභාපතිවරයෙකු වශයෙන් ගරු මන්ත්‍රීවරුන් හා නිලධාරීන් සමඟ සුහදත්වයෙන් කටයුතු  කරමින් ජනතා සේවයට කැප වී ඇත.