Select Page

ඉදිරි වර්ෂය සඳහා පළාත් සභාවක සියළුම අමාත්‍යාංශ, ආයතන, කාර්යාල හා දෙපාර්තමේන්තු වෙත මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කිරීම සඳහා වාර්ෂික මුදල් ප‍්‍රකාශය හා විසර්ජන ප‍්‍රඥප්තිය ඉදිරිපත් කරනු ලැබේ.

1989 අංක 28 දරන පළාත් සභා සංශෝධන පනතේ සඳහන් ආකාරයට එක් මුදල් වර්ෂයක් ආරම්භ වීමට යටත් පිරිසෙයින් මාස තුනකට පෙර විසර්ජන ප‍්‍රඥප්තිය පළාත් සභාවට ඉදිරිපත් කළ යුතු බව එහි සඳහන් වේ. ඒ අනුව එකී වගන්තියට අනුව සැප්තැම්බර් මාසයේ දී වාර්ෂික විසර්ජන ප‍්‍රඥප්තිය ඉදිරිපත් කළ යුතුයි.

ඉන් අනතුරුව ඉදිරි වර්ෂයට අදාල කි‍්‍රයාත්මක සැලැස්ම හා පසුගිය වර්ෂයට අදාල ප‍්‍රගති වාර්තා සකස් කරන ලෙසට පළාත් සභා ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යාංශවලට දන්වා යවනු ලැබේ. එයට අමතරව ප‍්‍රධාන ලේකම් හා නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් (මූල්‍ය) වෙත වාර්ෂික මුදල් ප‍්‍රකාශයේ විස්තරාත්මක වාර්තාව හා විසර්ජන ප‍්‍රඥප්තිය ද සකස් කිරීමට කටයුතු කරන ලෙස පළාත් සභා ලේකම්වරයා විසින් දන්වනු ලැබේ.

ඉහත සඳහන් පරිදි වාර්ෂික මුදල් ප‍්‍රකාශය හා විසර්ජන ප‍්‍රඥප්තිය සභාවට ඉදිරිපත් කිරීම සඳහා ගරු ආණ්ඩුකාරතුමාගේ නිර්දේශය ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. (දහතුන් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව)

වාර්ෂික මුදල් ප‍්‍රකාශය පිළිබඳ විවාදය දින 05ක් තිස්සේ සිදු කරනු ලබයි. මෙය තීරණය කරනු ලබන්නේ සභා කටයුතු පිළිබඳ කාරක සභාව විසින් වේ. දිනයන් හා විවාදය සඳහා කාලය වෙන් කර දෙනු ලැබේ.

වාර්ෂික මුදල් ප‍්‍රකාශය ඉදිරිපත් කිරීම හා ඒ පිළිබඳ විවාදය පැවැත්වීම පිළිබඳව කාර්ය පරිපාටි රීති සංග‍්‍රහයේ සඳහන් නොවූවද සම්ප‍්‍රදායක් වශයෙන් ඒ පිළිබඳ කි‍්‍රයා කිරීමේ කාර්යය සභා කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරනු ලැබේ. වාර්ෂික මුදල් ප‍්‍රකාශය හා විසර්ජන ප‍්‍රඥප්තිය පළාත් සභා විසින් සම්මත කිරීමෙන් අනතුරුව එය සභා සම්මත වූ බවට ගරු සභාපතිවරයා හා සභා ලේකම්වරයා විසින් පිටසන් කරන ලද ලිපියක් සමග ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතියට ඉදිරිපත් කරනු ලැබේ. සාමාන්‍යයෙන් මුදල් වර්ෂයක් ආරම්භ කිරීමට පෙර එනම් ජනවාරි පළමු දිනට පෙර ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබා ගත යුතුවේ.