Select Page

ඌව පළාතේ පළාත් සභාවේ ඉතිහාසයෙන් බිඳක්

ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත්වීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල මධ්‍යම රජය කේන‍්ද්‍රගතව පැවති අතර, ඒකීය රාජ්‍යයක් හා ඒකීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක විය. මධ්‍යම රජය සතු බලතල මහ නගර සභා, නගර සභා, සුළු නගර සභා, ගම් සභා, හා ප්‍රාදේශිය සභා වැනි පළාත් පාලන ආයතන වලට යම් යම් බලතල ලබා දී තිබූ අතර, ඒ සදහා ආඥා පනත් හා පාර්ලිමේන්තුව විසින් සම්ම්ත කරන ලද පනත් මගින් එකී බලතල හා කාර්යයන් ලබා දෙන ලදි.

මධ්‍යම රජය සතු බලතල හා කාර්යයන් පුළුල්ව විමධ්‍යගත කිරීමේ ඇරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ඉදිරිපත් කිරීම තුළින් ප්‍රථම වරට  මෙරට සිදු කරන ලද්දේ දහතුන්වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සශෝධනයෙනි. 1987 වසරේ දී ඉන්දියාව සමග ඇති කර ගන්නා ලද ඉන්දු ලංකා ගිවිසුම හා එවකට උතුරු නැගෙනහිර පැවති ජනවාර්ගික අර්බුදයට විසදුමක් ලෙස ද පළාත් සභා පිහිටුවන ලදි.

1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ XVII  පරිච්ඡේදයේ  154 අ වගන්තියෙන් පළාත් සභා පිහිටුවා ඇත. පළාතක භූමි ප්‍රමාණය හා ජනගහනය පදනම් කර ගනිමින් මහජන නියෝජිතයින් සංඛ්‍යාව තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරමින් පළාත් සභාවේ කටයුතු හා කාර්යයන්  පවත්වා ගෙන යාමට අවශ්‍ය විධි විධාන සළසා දී ඇත.

එලෙස ඇති කරන ලද ඌව පළාත් සභාව බදුල්ල හා  මොණරාගල යන දිස්ත්‍රික්ක දෙකෙන් සමන්විත වේ. ඌව පළාත තුළ ජනතාවගේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික සංවර්ධනයත් හා ජනතාවගේ සුභ සෙත නංවාලීමට අවශ්‍ය ප්‍රඥප්ති හා රීති සම්පාදනය කිරීමේ අරමුණින් පළාත තුළ තීන්දු තීරණ ගැනීමේ බලය පළාතේ මහජන නියෝජිතයින්ට හා නිලධාරින්ට අවකාශ සළසා දෙන ලදි. ඒ අනුව පහත සඳහන් වන පරිදි පළාත් සභා මන්ත්‍රීවරුන් ගෙන්  ඌව පළාත් සභාව සමන්විත විය

දිස්ත්‍රික්කය ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලද මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ප්‍රසාද ආසන  
බදුල්ල 21  

02

 
මොණරාගල 11  
ඌව පළාත් සභාව 32 02 34

 

 

ඌව පළාතේ පළාත් සභාවේ ප්‍රථම පළාත් සභාව

ඌව පළාතේ ප්‍රථම පළාත් සභාවේ නිල කාලය 1988.05.12 වන වන දින සිට 1993.03.16 වන දින දක්වා පැවතුනි. ප්‍රථම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරයට එක්සත්ජාතික පක්‍ෂය වෙනුවෙන්  බදුල්ල දිස්ත්‍රික්කය  නියෝජනය කරමින් ගරු පර්සි සමරවීර මැතිතුමා කටයුතු කළ අතර, විරුද්ධ පක්‍ෂය ලෙස එක්සත් සමාජවාදි පෙරමුණ (එවකට විරුද්ධ පක්‍ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මෙම පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් නොවීය) කටයුතු කරන ලදි.

ඌව පළාතේ පළාත් සභාවේ දෙවන පළාත් සභාව

ඌව පළාතේ දෙවන පළාත් සභාවේ නිල කාලය 1993.05.27 වන දින  සිට 1998.06.06 වන දින දක්වා පැවතුනි. දෙවන සභාවේ ද ප්‍රධාන අමාත්‍ය ධූරයට එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන්  බදුල්ල දිස්ත්‍රික්කය  නියෝජනය කරමින් ගරු පර්සි සමරවීර මැතිතුමා කටයුතු කළ අතර, විරුද්ධ පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණ කටයුතු කරන ලදි.

ඌව පළාතේ පළාත් සභාවේ තෙවන පළාත් සභාව

ඌව පළාතේ තෙවන පළාත් සභාවේ නිල කාලය  1999.04.26 වන දින  සිට 2004.04.25 වන දින දක්වා පැවතුනි. මෙම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරයට පොදු ජන පෙරමුණ  වෙනුවෙන්  බදුල්ල දිස්ත්‍රික්කය  නියෝජනය කළ  ගරු නාලනි වීරවන්නි මැතිතුමිය ද, ඉන් අනතුරුව ගරු සමරවීර වීරවන්නි මැතිතුමා ද ඉන් අනතුරුව ඒ.එම්.බුද්ධදාස මැතිතුමා ද ප්‍රධාන අමත්‍යවරුන් ලෙස කටයුතු කර ඇත. එක්සත් ජාතික  පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ  විරුද්ධ පක්‍ෂය ලෙස  කටයුතු කරන ලදි.

ඌව පළාතේ පළාත් සභාවේ සිව්වන පළාත් සභාව

ඌව පළාතේ සිව්වන පළාත් සභාවේ නිල කාලය  2004.08.05  වන දින  සිට 2009.05.28 වන දින දක්වා පැවතුනි. මෙම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මොණරාගල දිස්ත්‍රික්කය  නියෝජනය කළ  ගරු ගාමිණි විජිත් විජයමුණි සොයිසා මැතිතුමා  ප්‍රධාන අමත්‍යවරයා ලෙස කටයුතු කරන ලදි. එක්සත් ජාතික  පක්‍ෂය විරුද්ධ පක්‍ෂය ලෙස  කටයුතු කරන ලදි.

ඌව පළාතේ පළාත් සභාවේ පස්වන පළාත් සභාව

ඌව පළාතේ පස්වන පළාත් සභාවේ නිල කාලය  2009.09.02  වන දින  සිට 2014.07.11වන දින දක්වා පැවතුනි. මෙම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මොණරාගල දිස්ත්‍රික්කය  නියෝජනය කළ  ගරු ශෂින්ද්‍ර රාජපක්‍ෂ මැතිතුමා  ප්‍රධාන අමත්‍යවරයා ලෙස කටයුතු කරන ලදි. එක්සත් ජාතික  පක්‍ෂය විරුද්ධ පක්‍ෂය ලෙස  කටයුතු කරන ලදි.

ඌව පළාතේ පළාත් සභාවේ හයවන පළාත් සභාව

ඌව පළාතේ හයවන පළාත් සභාවේ නිල කාලය 2014.10.09 වන දින  සිට 2019.10.08  වන දින දක්වා පැවතුනි. 2014.10.09 සිට 2015.01.13 දක්වා පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මොණරාගල දිස්ත්‍රික්කය  නියෝජනය කළ  ගරු ශෂින්ද්‍ර රාජපක්‍ෂ මැතිතුමා ද, ඉන් පසුව 2015.01.14 සිට 2015.09.14 දක්වා එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමා ද, ඉන් අනතුරුව 2015.09.15 සිට 2019.10.08 දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ  ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා ද ප්‍රධාන අමත්‍යවරුන් ලෙස කටයුතු කර ඇත.