Select Page

නිතර අසන පැන

පළාත් සභාවක නිල කාලය කෙසේද?

පළාත් සභාවක ධූර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ඉ වගන්තියේ ‍මෙසේ සඳහන් වේ.

” පළාත් සභාවක කලින් විසුරුවා හරිනු ලැබුවහොත් මිස එම පළාත් සභාවේ පළමු රැස්වීම් සඳහා දින නියම කරන ලද දින සිට අවුරුදු පහක (05) කාලයක් ඒ සභාව පවත්නේය. එකී පස් අවුරුදු කාලය ඉකුත්ව ගිය විටම එම පළාත් සභාව විසිර ගියාක් සේ සැලකෙන්නේය. “ ඒ අනුව පළාත් සභාවේ නිල කාලය වසර 5 කි.

ඌව පළාත් සභාවේ මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සම් ඉදිරිපත් කරන්නේ කෙසේද?
  1. මහජනතාවට සෘජුවම මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සම් ඉදිරිපත් කළ නොහැක.
  2. පෙත්සම් ඉදිරිපත් කළ හැක්කේ ඌව පළාත් සභාව නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ මාර්ගයෙන් පමණි.
  3. ඌව පළාත් සභාවේ අමාත්‍යාංශ/ආයතන වලින් මහජනතාවට සිදුවන යම් ගැටලුවක් සම්බන්ධයෙන් ඔබගේ පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා පළාත් සභා මන්ත්‍රීවරයෙකු වෙත ලබා දිය යුතුය.

පෙත්සම මෙසේ සකස් කළ යුතුය.

  • වචන 150 කට අඩු විය යුතුය.
  • තමන්ට මුහුණු දීමට සිදුවී තිබෙන ගැටළුව සරලව කෙටියෙන් ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා තමන් අපේක්ෂා කරන සහනය පැහැදිලිව සඳහන් කළ යුතුය.
  • මන්ත්‍රීවරයාට පෙත්සම ලබාදීමේදී ඇමුණුම් හෝ අදාළ කරුණු සනාථ කිරීමට අදාළ ලිපි ලේඛන ආදිය ලබා දීමට අවශ්‍ය නොවේ.
  • අදාළ පෙත්සම පළාත් සභා රැස්වීම් පවත්වන දිනට සති දෙකකට පෙරවත් ගරු මන්ත්‍රීතුමාට ලබා දිය යුතුය.
  • අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින හෝ අධිකරණ තීන්දුවක් ලබාදී තිබෙන කාරණයක් සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කළ නොහැක.

ගැටළුවට අදාළව සහනයක් හෝ විසඳුමක් ලබා දෙන් ලෙස විධිමත් පටිපාටියට අනුව අදාළ ආයතන වෙත ඉදිරිපත් කළද එහෙත් විසඳුමක් ලබානොදුන් ගැටළු සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය වේ.

පළාත් රැස්වීම් සඳහා ප්‍රශ්නයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කරන්නේ කෙසේද?
  1. මහජනතාවට ප්‍රශ්න හා යෝජනා සෘජුවම පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නොහැකිය.
  2. ප්‍රශ්න හා යෝජනා පළාත් සභාව නියෝජනය කරන මහජන නියෝජිතයන් හරහා පළාත් සභාවට ඉදිරිපත් කළ හැකිය.
  3. එකී ප්‍ශ්නය හෝ යෝජනාව පළාත් සභා මන්ත්‍රීවරයාට ලබා දුන් පසු ගරු මන්ත්‍රීවරයා විසින් පළාත් සභාවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ක්‍රමවේදය අනුගමනය කරනු ඇත.
පළාත් සභා රැස්වීමක් නැරඹිමට අවසර ලබා ගන්නේ කෙසේද?
  1. පාසල් සිසුන් හෝ කණ්ඩායමක් වශයෙන් සහභාගි වන්නේ නම් ඒ සඳහා මෙම කාර්යාලයට ලිඛිතව දන්වා ඒ සඳහා ලිඛිත අවසරයක් ලබා ගත යුතුය. ( එක්වරකට පළාත් සභා රැස්වීමක් නැරඹිමට පහසුකම් සලසා දිය හැක්කේ 60 දෙනෙකුට සඳහා පමණි)
  2. කණ්ඩායමක් වශයෙන් නොව කිහිප දෙනෙකු සඳහා පළාත් සභා රැස්වීමක් නැරඹිමට අවශ්‍ය වන්නේ නම් ඌව පළාත් සභා ගරු සභාපතිතුමා හා පළාත් සභා ලේකම් වෙතින් ඉල්ලීමක් කර ඒ සඳහා අවස්ථාව සලසා ගත හැකිය.

සැ.යු. – මහජන ගැලරිය වසා තැබීමට ගරු සභාපතිතුමා විසින් තිරණය කරනු ලබන අවස්ථාවේදී හෝ පළාත් සභාවේ විශේෂ රැස්වීම් වන ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීම හා පළාත් සභා අයවැය විවාද පවත්වනු ලබන දිනයන්හිදී පළාත් සභා රැස්වීම් සඳහා මහජනතාවට නැරඹිමට අවසර දෙනු නොලැබේ.

ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරනු ලබන ප්‍රඥප්ති පිටපතක් ලබා ගන්නේ කෙසේද?
  1. ආයතනයට පැමිණ අදාළ ප්‍රඥප්තියේ නම, අවශ්‍ය කාරණය තොරතුරු පනත අනුව පත් කරන ලද තොරතුරු නිලධාරියාට ඉදිරිපත් කළ යුතු අතර, මේ සඳහා තොරතුරු පනත අනුව රජයේ නිශ්චිත ගාස්තුවක්ද ගෙවිය යුතුය.
  2. අනුමත කරනු ලබන ප්‍රඥප්ති රජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර, එය පහත සඳහන් වෙබ් අඩවි වෙත පිවිස භාගත කළ හැකිය.