Select Page

සෙංකෝලයේ මුලාරම්භය ක්‍රි.ව 1200 දක්වා අතීතයට දිව යයි. ප්‍රංශ අධිරාජ්‍යයකු වු පිලිප් ඔගස්ටන් රජු තම ආරක්ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂකයන් තබා ගත් අතර, මේ නිලධාරීන්ය රාජ්‍ය ලංජනය ඔබ්බවා සකස් කළ දැව යෂ්ටියක් ලබා දී ඇත. පසු කලෙක එය ඝන ලෝහයෙන් නිමවා ඇති අතර එය “සෙංකෝලය” නමින් හැඳින්විය. මේ නිර්මාණය ආයුධයක් ලෙස සැලකු යෂ්ටියක් විය. එය “වේත්‍රය” නමින් ද හැඳින් විය. එය අත දරාගත් නිලධාරින් රජු ඉදිරියෙන් ගමන් කළ අතර ඔවුන් වේත්‍රධාරින් විය. වර්ස 1279 දී බ්‍රිතාන්‍යයේ I වැනි එඩ්වඩ් රජු විසින් වේත්‍රධාරීන් 24 ක් තබා ගත් අතර ඔවුන්ගෙන් එක් අයකු සෙංකෝලය උරහිස දරා පාර්ලිමේන්තුවට පැමිණ ඇත. පසු කාලීනව පාර්ලිමේන්තුවේ කථානායකවරයා මෙන්ම රජු වෙනුවෙන් ඔහුගේ බලතල සහිත සෙංකෝලය හා වේත්‍රධාරියා පාර්ලිමේන්තුවට පිරිනැමුවේ II වැනි රිචර්ඩ් රජු විසිනි. සෙංකෝලය යනු කථානායකවරයාගේ බල අධිකාරිය මෙන්ම පාර්ලිමේන්තුවට අණසක සංකේතවත් කරන්නකි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෙංකෝලය ලබාදීමේ පුරෝගාමියා එවකට ගරු කථානායකවරයා වු ප්‍රැන්සිස් මොලමුරේ මහතාය.

ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරමින් පළාත් සභාවේද සෙංකෝලය භාවිතා කරනු ලැබේ. සෙංකෝලය භාවිතා කිරීම තුළින් බල අධිකාරිය පිළිබඳ සංකේතය වශයෙන් භාවිතා කිරීම, අණසක සංකේතවත් කිරීම, සභාව පවත්වාගෙන යාමට අවශ්‍ය නීත්‍යානුකූල අවසර හා ගෞරවනීයත්වය නිරාසයෙන්ම ලැබීම යන කරුණු සෙංකෝලය භාවිතා කිරීමෙන් ලැබේ. සෙංකෝලය රැගෙන යන නිලධාරියා සමඟ සභාපතිතුමා සභා ගර්භයට පැමිණිම හා පිටවීම සිදුවන අතර, සෙංකෝලය ඉවත් වු සැණෙන්ම සභාවේ වැඩ කටයුතු අවසන් වන අතර ඉන්පසු සිදුවන කිසිවක් නීත්‍යානුකූල නොවේ. සභාපතිතුමා අසුන් ගෙන සිටියදී හෙවත් සභා රැස්ව සිටියදී සෙංකෝලයේ මුදුනෙහි පළිගු කේතුව ආණ්ඩු පක්ෂය දෙසට යොමු වී සිටින සේ සෙංකෝලය සභා මේසයේ රදවා තබනු ලැබේ. එසේම සංකෝලය පළාත් සභා රැස්වීම් දිනකදී පමණක් ජනතාවට දැක බලා ගත හැකි මහඟු වස්තුවකි. සෙංකෝලය රදවා තැබීමට රදවනයන් දෙකක් ඇති අතර සභාපතිවරයා සිය අසුන් රැඳෙමින් සභාව පවත්වාගෙන යනවිට ඉහළ රඳවනයේ තබන අතර, කාරක සභා අවස්ථාවක් පවත්වන විට පහළ රඳවනයේ එය තැන්පත් කෙරේ. සෙංකෝලය නොමැති කිසිඳු සභා රැස්වීමක් නීත්‍යානුකූල නොවේ.